අද පරිගණකය යනු සරල උපකරණයක් නොව අපගේ වැදගත් දත්ත, වෘත්තීය ජීවිතය, අධ්‍යාපන ලේඛන, පුද්ගලික ඡායාරූප සහ මූල්‍ය තොරතුරු රැසක් සුරකිමින් සියල්ල මෙහෙයවන ප්‍රධානතම මෙවලමයි. ඔබ කෙතරම් ඉහළ තාක්ෂණයෙන් යුත් මිල අධික පරිගණකයක් භාවිතා කළ ද, ඒ සඳහා ස්ථාවර විදුලි සැපයුමක් නොමැති නම් එහි සුරක්ෂිතභාවය සැම විටම අවදානමක පවතී. එවැනි වැදගත් පද්ධතියක් විදුලි බිඳවැටීම් සහ විදුලි ප්‍රවාහයේ අස්ථාවරතා වලින් ආරක්ෂා කිරීම අතිශය වැදගත් වේ. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ දිගුකාලීන අත්දැකීම් සහිත විශේෂඥයෙන් ලෙස අප සැමවිටම අවධාරණය කරන්නේ ඔබේ පරිගණක පද්ධතියේ ආරක්ෂාව වෙනුවෙන් කළ හැකි හොඳම ආයෝජනය UPS (Uninterruptible Power Supply) උපකරණයක් බවයි.
මොකක්ද මේ UPS එකක් කියන්නේ?
UPS එකක් යනු විදුලි බලය හදිසියේම විසන්ධි වන විට හෝ විදුලි ප්‍රවාහයේ වෙනස්කම් ඇති වන විට පරිගණකයට තාවකාලිකව බලය සපයන උපකරණයකි. මෙහි අභ්‍යන්තරයේ ඇති බැටරි පද්ධතිය මඟින් ප්‍රධාන විදුලි සැපයුම ඇනහිටි සැණින් කිසිදු බාධාවකින් තොරව ඔබේ පරිගණකය ක්‍රියාත්මක වීමට අවශ්‍ය විදුලිය ලබා දෙයි. විදුලිය විසන්ධි වූ විට UPS එක තත්පර කිහිපයක් සිට මිනිත්තු කිහිපයක් දක්වා බලය ලබාදෙමින් ඔබ කරමින් සිටි කාර්යයන් Save කිරීමට සහ පරිගණකය නිවැරදිව Shut down කිරීමට අවශ්‍ය වටිනා කාලය ලබා දේ.
එක වරක් විදුලිය ඇනහිටීම පවා දෘඩ තැටියට (Hard Disk) මාරාන්තිකයි!
බොහෝ දෙනා සිතන්නේ විදුලිය එක් වරක් හදිසියේ විසන්ධි වීම විශාල ගැටලුවක් නොවන බවයි. නමුත් එය සත්‍ය නොවේ. දත්ත කියවමින් පවතින අතරතුර (Hard Disk එක ක්‍රියාත්මක වන විට) එකම එක වරක් විදුලිය හදිසියේ විසන්ධි වීම පවා ඔබේ දෘඩ තැටියට බරපතල හානි දායක විය හැක. විදුලි බලය හදිසියේ විසන්ධි වන විට දෘඩ තැටිය තුළ ඇති Mechanical Read/Write head එක නිසි ලෙස Park නොවී Data platter මත වැටීමේ අවදානමක් ඇත. මෙය දිගු කාලීනව Data sector damages, Bad sectors සහ අවසානයේ Hard disk failure එකක් දක්වා ගෙන යා හැක.
UPS එකක් භාවිතා නොකිරීමේ අවාසි සහ අවදානම්:
- හදිසි දත්ත අහිමි වීම් (Sudden Data Loss): ඔබ පැය ගණනක් මහන්සියෙන් කළ නිර්මාණ හෝ ලේඛන Save කිරීමට පෙර විදුලිය විසන්ධි වුවහොත් ඒ සියල්ල ක්ෂණිකව අහිමි වේ.
- ගොනු දූෂණය වීම (Risk of File Corruption): පරිගණකය ක්‍රියාත්මක වන විට විදුලිය විසන්ධි වුවහොත්, විවෘතව තිබූ ගොනු අභ්‍යන්තරව දූෂණය (Corrupt) වී නැවත විවෘත කළ නොහැකි තත්ත්වයට පත් විය හැක.
- මෙහෙයුම් පද්ධතියට හානි වීම් (OS Damages): Windows, Linux හෝ macOS වැනි මෙහෙයුම් පද්ධති නිවැරදිව Shut down නොවීම නිසා පද්ධති ගොනු (System Files) අක්‍රීය වී, පරිගණකය පණ ගැන්වීමේදී "Blue Screen" (BSOD) වැනි දෝෂ ඇති විය හැක.
- දෘඩාංග හානි (Hardware Damages): විදුලි සැපයුමේ අස්ථාවරත්වය නිසා මවු පුවරුව (Motherboard), දෘඩ තැටි (Hard Disk / SSD), Power Supply Unit (PSU), RAM සහ Graphic Cards වැනි සංවේදී උපාංග පිලිස්සී යාමට හෝ ඒවායේ ආයු කාලය අඩු වීමට ඉඩ ඇත.
- මෘදුකාංග යාවත්කාලීන බිඳ වැටීම් (Software Update Crashes): මෘදුකාංග හෝ Windows, Linux හෝ macOS වැනි මෙහෙයුම් පද්ධති යාවත්කාලීන (Update) වන විට විදුලිය විසන්ධි වීම පරිගණකය සම්පූර්ණයෙන්ම අක්‍රීය වීමට (Bricking) හේතු විය හැක.
- විදුලි උච්චාවචනයන්ගෙන් ආරක්ෂාවක් නොමැති වීම (Power Fluctuations): UPS එකක් මඟින් විදුලිය හදිසියේ වැඩි වීම (Surges) හෝ අඩු වීම (Spikes) පාලනය කර ඔබේ උපාංගවලට ස්ථාවර වෝල්ටීයතාවයක් ලබා දෙයි. එය නොමැති විට එම අවදානම සෘජුවම ඔබේ පරිගණකයට බලපායි.
ඔබේ පරිගණකය යනු හුදෙක් උපකරණයක් පමණක් නොව, ඔබේ වටිනා දත්ත සහ කාලය තැන්පත් කර ඇති ස්ථානයකි. දෘඩාංග අලුත්වැඩියාවන් සහ දත්ත නැවත ලබා ගැනීමට (Data Recovery) යන අධික පිරිවැය සලකා බලන විට ගුණාත්මක UPS යන්ත්‍රයක් මිලදී ගැනීම බුද්ධිමත් මෙන්ම අත්‍යවශ්‍ය ආයෝජනයකි. එමගින් බොහෝ ගැටලු වලින් ඔබගේ පද්ධතිය ආරක්ෂා කරගත හැක. අදම ඔබේ පරිගණකයේ සුරක්ෂිතතාවය තහවුරු කර මනසේ සාමයෙන් යුතුව ඔබේ වැඩකටයුතු කරගෙන යන්න.